වත්තේ වැඩ

උදව් කරන්නට හිතිලා, දුවගෙ වත්ත එළි කරලා
ගිනි අව්වේ ගස් කපලා, ගත වෙහෙසා අතු ඇදලා
උදලු මුල්ලු යොදවාලා, මල් පාත්ති සකසාලා
වටේට බැමි අටවාලා, පොහොර වතුර ඇද දාලා

පැය හතරක් වැඩ කරලා, නාකි ඇඟට හති වැටිලා
පඳුරක් යට දිගා වෙලා, අතීතෙ මම මෙනෙහි කළා

……………………..

ඉස්සර මේ වගේ වැඩක්. පැයකින් මම කරන දෙයක්
තද අව්වක් හෝ වැස්සක්, හිතට ගතට නෑ අවුලක්
දැන් හිත ගත අංග දෙකක්, දෙන්නා නෑ කතා බහක්
දෙන්න යන්නෙ ගමන් දෙකක්, දෙන්න අතර ප්රපාතයක්

ගත පුටුවෙන් නැගිටින්නේ යන්න හිතා ගෙන ගමනක්
ඒ වෙනකොට ඉන්නව සිත රට වට ගොස් තුන් සැරයක්

මේ තත්වය භයානකයි, තවත් මෙලෙස සිටි නොහැකියි
සිත සංසුන් කරන්න වෙයි, ගතත් ටිකක් හැදෙන්න වෙයි
නැවත කතා ඇරඹූවයි, හවුලට පණ ගැන්වූවයි
වටිනාකම පිළිගත්තයි, ගත සිත එකමුතු වූවයි

පඳුර යටම දිගා වෙලා, අනාගතය මෙනෙහි කළා
සිතත් ගතත් නිසල වෙලා, නිදිමත එනවා ගලලා

…………………….

“ලොකු අත්තා” කියා ඇසෙයි, මිනිබිරියගෙ මුහුණ පෙනෙයි
දත් නැති සිනහව පෙන්වයි, එයින් නින්ද පලව හරියි
ගෙන ආවේ කෙසෙල් ගෙඩියි, වතුර පිරිණු බෝතලයයි
සිත නැගිටියි විදුලි සැරෙන්, ගත නැගිටින්නට වෙහෙසෙයි

සිත ගත ඇරඹූ ගිවිසුම, සැනෙකින් බිඳ වැටිලා යයි
පොඩි එකීගෙ එක වචනෙන් මගෙ සිත ලිහලා දැමුවයි
ඒකී කිව්වොත් මගෙ සිත ලෝකෙ වටා වුනත් දුවයි
නාකි ගතත් වේදනාවෙ හති දමමින් පස්සෙ දුවයි